මහානායක ස්වාමින් වහන්සේට නිවන් සුව ලැබේවා

මහානායක ස්වාමින් වහන්සේට නිවන් සුව ලැබේවා

ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ උත්තරීතර මහා නායක, ධම්මපාල වංශාලංකාර සද්ධර්ම කීර්ති ශ්‍රී ත්‍රිපිටක විශාරද ප්‍රවචන කීර්ති ශ්‍රී සාසන සෝභන ශ්‍රී සුමංගල විද්‍යාවතංස අග්ගමහා පණ්ඩිත අතිපූජ්‍ය කොටුගොඩ ධම්මාවාස නායක ස්වාමින් වහන්සේ අද ( 2021.03.22 ) දින අපවත් වූ සේක.

ගම්පහ කොටුගොඩ ගම් පියසෙහි විසූ වැවිලිකරු ඇඳවිතාරණගේ හරමානිස් රුද්‍රිගු හා සෙලෙස්තිනා රුද්‍රිගු නම් සැදැහැතියන්ට දාව  1933 ජනවාරි 26 ජන්මලාභය ලද අප කතා නායකයාණෝ ගල්කිස්ස ධර්මපාලාරාමාධිපතිව වැඩ සිටි පූජ්‍ය උණවටුනේ ධම්මපාල මහා ස්වාමින් වහන්සේගේ ආචාර්යත්වයෙන් 1948 අගෝස්තු 17 දින සම්බුදු සසුන්ගත වූහ. රත්මලානේ පරම ධම්ම චේතිය පිරිවෙන් සෙවණේ අධ්‍යාපන ලද කොටුගොඩ හාමුදුරුවෝ 1952 දී මාළිගාකන්දේ විද්‍යෝදය මහ පිරිවෙනට ඇතුළත් වූහ. 1954 ජූලි 10 කළුගගේ උදකුක්ඛේප සීමාමාලකයේදී උතුම් උපසම්පදා සීලයට පත්වූහ.

කල්යත්ම නැණවත් ධර්මධර භික්ෂූන් වහන්සේ නමක් ලෙසින් සිරිලක සිසාරා කොටුගොඩ ස්වාමින් වහන්සේගේ ධර්ම දේශනා ඇසෙන්නට විය. පැවති ධර්ම දේශනා ශෛලයට නව අර්ථ කථනයක් වෙමින් අප නායක ස්වාමින් වහන්සේ ඉතා ජනප්‍රිය වන්නට වැඩි කලක් ගතවූයේ නැත. 1967 මැයි 14 වන දින සිය ගුරුදේවෝතත්ම නායක ස්වාමින් වහන්සේගේ අපවත්වීමෙන් පසු ගල්කිස්ස ධර්මපාලාරාමාධිපති පදවි ලද කොටුගොඩ ස්වාමින් වහන්සේ නොබෝ කලකින් සියලු විහාරාරාංග නවිකරණ කරමින් දායක සිත් බුද්ධාලම්භන ප්‍රීතියට පත්කළහ.

ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ අමරපුර පාර්ශ්වයේ මහානායක ස්වාමින් වහන්සේ ලෙසින් සිදුකරන ලද ශාසනික කාර්ය භාරය හා උන්වහන්සේ තුළ තිබූ  සංඝපිතෘ ලංක්ෂණ නිසාම ශ්‍රී ලංකා අමරපුර සංඝ සභාව කොටුගොඩ ධම්මපාල නායක ස්වාමින් වහන්සේට උත්තරීතර මහානායක පදවියෙන් පිරිනැමුවේය. ශ්‍රී ලංකාද්වීපයට පමණක් නොව  සමස්ත ලෝකවාසීන්ටම තථාගත ධර්මය දේශනා කරමින් සියලු මිනිසුන්ට ජීවිතාවබෝධය, මානව ගුණ ධර්ම, දෙලොව සාධනය විෂයෙහි නිරතුරු දහම් දේශනා කළ ගෞවරණීය කොටුගොඩ මහානායක ස්වාමින් වහන්සේගේ අපවත්වීම පිළිබඳ සාතිශය සංවේගය පළකරමි. අතිගෞරවණීය කොටුගොඩ ධම්මාවාස මහා නායක ස්වාමින් වහන්සේට අමා මහා නිවන්සැප ලැබේවා.