Department of Buddhist Affairs
බුදුපුත් මාපිය හරසර

බුදුපුත් මාපිය හරසර පූජා සමාජ ආරක්ෂණ ප්‍රතිලාභ යෝජනා ක්‍රමයේ අවබෝධතා ගිවිසුමට අත්සන් තැබීම ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ සහභාගීත්වයෙන්  බුද්ධ ශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේදී  2022.01.04 දින සිදුවිය.

බෞද්ධ කටයුතු පිළිබඳ දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් සුනන්ද කාරියප්පෙරුම  සහ ලංකා සමාජ ආරක්ෂණ මණ්ඩලයේ සභාපති සමන් හදරාගම යන මහත්වරුන් එම ගිවිසුමට අත්සන් තැබීය. සම්බුදු සසුනට තම දරුවන් පූජා කළ අවුරුදු 25ත් 59 අතර භික්ෂූන් වහන්සේගේ හා සිල්මාතාවන් වහන්සේලාගේ  දෙමව්පියන්  වෙනුවෙන්  ඔවුන්ගේ සැදෑ සමයේ සුරක්ෂිතභාවය සඳහා මෙම විශේෂිත විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රම ක්‍රියාත්මකයි.  සමාජ ආරක්ෂණ මණ්ඩලය ප්‍රතිලාභ සපයන මෙම විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමය අනුව දායක පින්වතුන්ගේ හා විවිධ දානපතීන්ගේ  අවශ්‍යතා මත අවුරුදු 60 ඉක්මවූ පසුවද ඕනෑම ප්‍රමාණයක මාසික විශ්‍රාම වැටුපක් සකස් කිරීමට හැකිවීම මෙහි ඇති විශේෂත්වයයි. 

ගෞරවණීය මහා සංඝරත්නය, අන්‍ය ආගමික පූජකවරු, රාජ්‍ය අමාත්‍ය විදුරවික්‍රමනායක මැතිතුමා, බුද්ධ ශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය දේශබන්දු කපිල ගුණවර්ධන මහතා ඇතුළු රාජ්‍ය නිලධාරීන් මෙම අවස්ථාවට සම්බන්ධ විය.

2022 වර්ෂයේ රාජකාරී ආරම්භ කිරීම

කාර්යක්ෂම රාජ්‍ය සේවය තුළින් සෞභාග්‍යමත් දේශයක් ගොඩනැංවීමේ අරමුණින් අද ( 2022.01.03 ) දින බුද්ධ ශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේදී සියළු නිලධාරීන් දිවුරුම් දී රාජකාරී කටයුතු ආරම්භ කරන ලදි.

සාමාන්‍ය පරිදි රාජ්‍ය සේවයේ කටයුතු අදින් ආරම්භ වන අතර මෙම සමාරම්භක අවස්ථාවට බුද්ධ ශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය දේශබන්දු කපිල ගුණවර්ධන මහතා හා බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් සුනන්ද කාරියප්පෙරුම මහතා සුභපැතුම් පණිවුඩ එක්කළේය. පවතින කොවිඩ් 19 රෝග වසංගත තත්ත්වය හමුවේ වඩාත් ඵලදායී මෙන්ම සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේදයන් අනුගමනය කරමින් රාජ්‍ය සේවය කිරීම සම්බන්ධයෙන් විශේෂ දේශනයක් සෞඛ්‍ය අමාත්‍යාංශයේ තාක්ෂණ සේවා අධ්‍යක්ෂ වෛද්‍ය අන්වර් හම්දානි මහතා විසින් විශේෂ දේශනයක් කළේය.

දහම් සරසවි උසස් ඩිප්ලෝමා පාඨමාලාව

බුද්ධ ශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය හා බෞද්ධ කටයුතු පිළිබඳ දෙපාර්තමේන්තුව  මඟින් ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය සමඟ ඒකාබද්ධව ක්‍රියාත්මක කරන දහම් සරසවිය දිවයිනේ තෝරාගත් මධ්‍යස්ථාන 38 දී පැවැත්වේ. දෙවසරක පාඨාමාලාවක් ලෙසින් පැවැත්වෙන මෙම වැඩසටහනට විෂය ඒකක 5 ක් ඇතුළත්වේ. බුදු දහමෙහි මූලික ඉගැන්වීම්, බෞද්ධ ශිෂ්ටාචාරය, බෞද්ධ අධ්‍යාපනය සහ සන්නිවේදනය, අභිධර්මය හා බෞද්ධ මනෝවිග්‍රහය, පාලි භාෂා ප්‍රවේශය යන විෂය ඒකක සඳහා සුදුසසුකම් ලද කථිකාචාර්වරුන් විසින් සෙනසුරාදා පෙරවරු 8.00 සිට පස්වරු 4.00 දක්වා අධ්‍යයන කටයුතු සිදුකරනු ලබයි.

මෙම පාඨමාලාවේ මුලික අරමුණ වන්නේ උසස් අධ්‍යාපන සුදුසුකම් නොලබා දහම් පාසල්වල සේවය කරන දහම් ගුරු භවතුන්ට අවශ්‍ය දහම් දැනුම ලබාදීම හා සදාචාරාත්මක සමාජයක් බිහි කිරීම උදෙසා නිස්සරණාධ්‍යාසයෙන් ඉටු කරන සේවාවන් ශක්තිමත් කිරීමයි. ඒ සඳහා දහම් පාසල් ගුරුභවතුන් දහම් දැනුමෙන් සන්නද්ධ කර ඔවුන්ගේ අනාගත ඉලක්ක සපුරාලීම හා දරුවන්ට මනාව දහම් දැනුම ලබාදීම මෙම වැඩසටහනේ අරමුණ වේ.

“ දහම් ගුරු අභිමානී ” ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය හා ඒකාබද්ධව පවත්වනු ලබන දහම් සරසවි උසස් ඩිප්ලෝමා පාඨමාලාව පැවැත්වෙන මධ්‍යස්ථාන නාමාවලිය

දිස්ත්‍රික්කය

පාඨමාලා මධ්‍යස්ථානය

කොළඹ

1

පුරාණ විහාරය, මාකුඹුර, කොට්ටාව

ගම්පහ

1

ජාත්‍යාන්තර සාම විහාරය, කොළඹ පාර, ගම්පහ

කළුතර

1

ශ්‍රී මංගල මහා විහාරය, පාන්තිය, මතුගම

2

බෝධි ඤාණ පුස්තකාලය, උතුරු කළුතර, කළුතර

ගාල්ල

1

ශ්‍රී විද්‍යාරාජ පිරිවෙන, ගල්වඩුගොඩ, ගාල්ල

2

අග්ගාරාම මහා විහාරය, පොල්වත්ත, අම්බලන්ගොඩ

3

ශ්‍රී ජනනන්දරාමය, කිරහන්දිගොඩ, හික්කඩුව

මාතර

1

සුදර්ශී පිරිවෙන, ධර්මපාල මාවත, මාතර

2

විද්‍යා නිකේත පිරිවෙන, සපුගොඩ, කඹුරුපිටිය

හම්බන්තොට

1

ශ්‍රී බෝධිරාජාරාමය, කිවුල්හුන්ගම

2

ශ්‍රී සුමංගල පිරිවෙන, මිද්දෙනිය

මහනුවර

1

කීර්ති ශ්‍රී රාජසිංහ පොත්ගුල් විහාරය, මහනුවර

2

ශ්‍රී සුමනාරාම විහාරය, ජයමාලපුර, ගම්පොල

3

රැස්වීම් ශාලාව, දිස්ත්‍රික් ලේකම් කාර්යාලය, මහනුවර

මාතලේ

1

පුහුණු මධ්‍යස්ථානය, දිස්ත්‍රික් ලේකම් කාර්යාලය, මාතලේ

2

ශ්‍රී අරහත්ත පබ්බතාරාමය, අරංගල, නාඋල

නුවරඑළිය

1

ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානය, බදුලු පාර, නුවරඑළිය

පුත්තලම

1

ශ්‍රී දේවගිරි විහාරය, කුරුණෑගල පාර, හලාවත

2

බෞද්ධ මධ්‍යස්ථානය, කොළඹ පාර, පුත්තලම

කුරුණෑගල

1

ඇත්කඳ රජමහා විහාරය, නුවර පාර, කුරුණෑගල

2

ශ්‍රී විසුද්ධාරාමය, පුත්තලම් පාර, කුරුණෑගල

3

ගුණානන්ද පිරිවෙන් විහාරය, ආණමඩුව, ගල්ගමුවල

අනුරාධපුර

1

දිස්ත්‍රික් ලේකම් කාර්යාලය, අනුරාධපුර

2

ශ්‍රී ධර්මවර්ධනාරාමය, කැබිලිගොල්ලෑව

3

ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, කැකිරාව

4

ශ්‍රී සම්බුද්ධ ජයන්ති විහාරය, අනුරාධපුර

පොළොන්නරුව

1

ජයන්ති විහාරය, කදුරුවෙල

අම්පාර

1

දිස්ත්‍රික් ලේකම් කාර්යාලය, අම්පාර

2

බෞද්ධ මධ්‍යස්ථානය, දෙහිඅත්තකණ්ඩිය

ත්‍රිකුණාමලය

1

ත්‍රි/ සිංහල මහා විද්‍යාලය, ඇතුල් වරාය පාර, ත්‍රිකුණාමලය

රත්නපුර

1

ශ්‍රී බෝධිරාජාරාම විහාරය, ශ්‍රී බෝධිරාජ මාවත, රත්නපුර

2

ශ්‍රී මහින්ද මහා විහාරය, ගොඩකවෙල, රත්නපුර

බදුල්ල

1

ශාන්ත ජෝශප් විද්‍යාලය, බණ්ඩාරවෙල

 

2

ශ්‍රී සුමංගලාරාමය, ශ්‍රී විමලධර්ම මාවත, පොල්වත්ත, බදුල්ල

කෑගල්ල

1

සිරි මහින්දෝදය පිරිවෙන් විහාරය, වෑවලදෙනිය, කෑගල්ල

2

ශ්‍රී විජයාරාමය, කහනාවිය, දෙහිඕවිට

මොනරාගල

1

ශ්‍රී බෝධිරාජාරාමය, තෙළුල්ල, ඇතිලිවැව, වැල්ලවාය

2

සිරි පියරතන විද්‍යායතන පිරිවෙන, වැලියාය, මොනරාගල

බෞද්ධ කටයුතු පිළිබඳ දෙපාර්තමේන්තුවේ පස් අවුරුදු උපාය මාර්ග සැලැස්ම සංවර්ධනය කිරීම පිළිබඳ වැඩසටහන

රට හදන සෞභාග්‍යයේ දැක්ම තුළින් ගුණගරුක විනයගරුක සාධාරණ සමාජයක් කරා

 

බෞද්ධ කටයුතු පිළිබඳ දෙපාර්තමේන්තුවේ පස් අවුරුදු උපාය මාර්ග සැලැස්ම සංවර්ධනය කිරීම පිළිබඳ වැඩසටහන 2021.12.17 දින කොළඹ 07 බුද්ධ ශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී පැවැත්විය.

ඉදිරි අවුරුදු පහ සඳහා නව ක්‍රමෝපායන් හා ළගාකරගත හැකි ඉලක්ක පිළිබඳ මෙහිදී සාකච්ඡා විය. වෙහෙර විහාරස්ථාන හා භික්ෂූන් වහන්සේලා, දහම් පාසල් හා එහි ප්‍රජාව, එමෙන්ම බෞද්ධ කටයුතු පිළිබඳ දෙපාර්තමේන්තුව හා සම්බන්ධ සියළු ආයතන, ප්‍රජාව ඉලක්ක කරගනිමින් නව සැලසුම් කිහිපයක් මෙහිදී යෝජනා විය.

පස් අවුරුදු උපාය මාර්ග සැලැස්ම ඉදිරියේදී ජනගත කිරීමට නියමිතය. මෙම වැඩසටහනට සම්පත් දායකත්වය කුඩා වැවිලිභෝග වගා සංවර්ධන කර්මාන්ත හා අපනයන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් තිලකා ජයසුන්දර මහත්මිය විසින් ලබාදෙන ලදි.

විශේෂ පුහුණු වැඩසටහන හා සාකච්ඡාව

බෞද්ධ කටයුතු පිළිබඳ දෙපාර්තමේන්තුවට අනුයුක්තව සේවය කරනු ලබන ස්වාමින් වහන්සේලා හා සිල්මෑණියන් වහන්සේලා සම්බන්ධ කරගනිමින් විශේෂ පුහුණුවක් හා සාකච්ඡාවක් අද ( 2021.12.16 ) පැවැත්විය.  බුද්ධ ශාසන ආගමික හා සංස්කෘතික අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී පැවැති මෙම වැඩසටහනේදී මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන ස්වාමින් වහන්සේ විසින් විශේෂ දේශනයක් ද පැවැත්විය. 

සමස්ත ලංකා ශාසනාරක්ෂක මණ්ඩලයේ විධායක සභාවට නව නිලධාරින් පත්වෙයි

සමස්ත ලංකා ශාසනාරක්ෂක මණ්ඩලයේ විධායක සභාවට තෙවසරක ධූර කාලයක් සඳහා නව නිලධාරින් තෝරාපත්කර ගැනීම බුද්ධ ශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශ ශ්‍රවණගාරයේදී අද දින ( 2021.11.23)  සිදුවිය.

සියළුම දිස්ත්‍රික්ක නියෝජනය කරමින් දිස්ත්‍රික් ශාසනාරක්ෂක මණ්ඩලවල ගරු ලේඛකාධිකාරී හා සභාපති ස්වාමින් වහන්සේලාගේ සහභාගිත්වයෙන් පැවති මෙම සභාවේදී අභිනව සභාපති ධූරයට කුරුණෑගල දිස්ත්‍රික් ශාසනාරක්ෂක මණ්ඩලයේ ගරු සභාපති මහාචාර්ය පූජ්‍ය තඹුල්ලේ සීලක්ඛන්ධ නායක ස්වාමින් වහන්සේ හා මහා ලේඛකාධිකාරී ධූරයට මාතලේ දිස්ත්‍රික් ශාසනාරක්ෂක මණ්ඩලයේ ගරු සභාපති පූජ්‍ය මුගුනුවෙල අනුරුද්ධ නායක ස්වාමින් වහන්සේ තෝරාපත් කර ගත්තේය. සියළු දිස්ත්‍රික්ක නියෝජනය වන පරිදි විධාක සභාවේ සාමාජිකත්වයට තෝරාපත් කර ගැනීම් සිදුවිය.

විහාරස්ථානය, භික්ෂූන් වහන්සේ, දහම් පාසල් හා එහි සියලු කටයුතු, දහම් ගුරු භවතුන්ගේ වෛද්‍යාධාර, බුදපුත් නිවාස ව්‍යාපෘතිය වැනි සුවිශේෂ කරණු කිහිපයක් නිරන්තරයෙන් සිදුකෙරෙන සමස්ත ලංකා ශාසනාරක්ෂක මණ්ඩලයේ ඉදිරි තෙවසර වෙනුවෙන් අනු මණ්ඩල 4 ක් සඳහා ද නව නිලධාරීන් තෝරාපත් කර ගැනීම සිදුවිය.

නවක සාමණේර ස්වාමින් වහන්සේලා පුහුණු කිරීමේ ජාතික වැඩසටහන

නවක සාමණේර ස්වාමින් වහන්සේට ශාසනනික කාර්ය භාරය, වත්පිළිවෙත් හා සුපසන් භික්ෂූන් වහන්සේ නමක් ලෙසින් ලෝක සාසනික සේවාව සිදුකිරීමට අවශ්‍ය වන මූලික කරුණු පදනම් කරගත් මෙම වැඩසටහන දින හතක් පුරා පැවැත්වේ.

පන්නිපිටිය දෙව්රම් මහා විහාරය කේන්ද්‍ර කරගනිමින් 2021.11.20 සිට 2021.11.27 දින දක්වා නේවාසිකව පැවැත්වෙන සාමණේර පුහුණු වැඩසටහන සෞඛ්‍ය අමාත්‍යාංශය වෙතින් ලබාදී ඇති සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට යටත්ව  සිදුකෙරේ.  

බෞද්ධ දහම් පාසල් නැවත ආරම්භ කිරීම නොවැම්බර් 28

සෞඛ්‍ය අමාත්‍යාංශය විසින්  කොවිඩ් 19 ව්‍යාප්තිය වලකමින් පොදු මහජන හා වෘත්තීය ක්‍රියාකාරකම් සිදුකරන ආකාරය පිළිබඳව උපදෙස් සංග්‍රහයේ ඉරිදා දහම් පාසල් වලට අදාළ මාර්ගෝපදේශයන්ට අනුව බෞද්ධ  පාසල් නැවත ආරම්භ 2021.11.28 දින සිදුකිරීමට නියමිතය.

දහම් පාසල් ප්‍රධානීන්, ගුරු භවතුන්, දෙමාපියන් හා අනෙකුත් අදාළ පාර්ශ්වයන් සමඟ සාකච්ඡා කොට සුදුසු වැඩපිළිවෙලක් සකස්කර පූර්ව සූදානම් කිරීම් කටයුතු සංවිධානය කරන ලෙසත්, සෞඛ්‍ය මාර්ගෝපදේශ තරයේ අනුගමන කරමින් 2021.11.28 දින දහම් පාසල් ආරම්භ කිරීම සුදුසුවේ.

අතිපූජ්‍ය වැලමිටියාවේ කුසලධම්ම නාහිමියෝ අපවත් වූහ

කොළඹ හලාවත දෙදිසාවේ ප්‍රධාන සංඝ නායක, පෑලියගොඩ විද්‍යාලංකාර මහ පිරුවන්පති, කැළණිය විශ්ව විද්‍යාලයේ කලපති අග්ගමහා පණ්ඩිත සද්ධම්ම ජෝතික ධජ, සමස්ත ලංකා ශාසණාරක්ෂක මණ්ඩලයේ ගරු සභාපති, සමස්ත ලංකා ජාතික සිල්මාතා සංගමයේ ප්‍රධාන අනුශාසක අතිපූජ්‍ය වැලමිටියාවේ කුසලධම්ම නායක ස්වාමින් වහන්සේ අද උදෑසන ( 2021.10.28 ) අපවත්වූ සේක.  අදාහන පුජෝත්සවය පිළිබඳ පසව දැනුම්දෙනු ලැබේ.

දිවයින පුරා විහාරස්ථාන වල කඨින චීවර පූජාව පැවැත්වීම

පවතින කොවිඩ් වසංගතය තුළ, දිවයින පුරා විහාරස්ථාන වල කඨින චීවර පූජාව පැවැත්වීම සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් නිකුත් කර ඇති උපදෙස් අනුව,

කඨින චීවරය රැගත් පෙරහැර, කඨින චීවර පූජාව හා කඨිනානිසංස ධර්ම දේශනය උපරිම සැදැහැවතුන් 50 ක පිරිසක සහභාගිත්වයෙන් පවත්වන ලෙස දන්වා ඇත.

ගරුතර මහා සංඝරත්නයේ හා සැදැහැවතුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් සියලු සෞඛ්‍යය මාර්ගෝපදේශ අනුගමනය කරමින් උතුම් කඨින චීවර පූජාව සංවිධානය කරන මෙන් ශාසනාලයෙන් යුතුව ඉල්ලා සිටිමි.

සුනන්ද කාරියප්පෙරුම
බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල්